ශ්‍රී ලංකාවේ නිල සංචාරයක ආරම්භය සනිටුහන් කරමින් ඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් වන INS Shalki නෞකාව අද (2024 අගෝස්තු 2) කොළඹ වරායට සේන්දු විය. සබ්මැරීනයේ සම්ප්‍රාප්තිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්ප්‍රදායික නාවික ගෞරව සහිතව සිදු කෙරිණි.
මීටර් 64.4 ක් දිග සබ්මැරීනයක් වන මෙහි INS Shalki හි අණදෙන නිලධාරි රාහුල් පට්නායික් ඇතුළුව 40 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් පැමිණි බව වාර්තා වේ. මෙම සංචාරයේ කොටසක් ලෙස කොමාන්ඩර් පට්නායික් මහතා බටහිර නාවික කොමාන්ඩර් මූලස්ථානයේදී බටහිර නාවික ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ මහතා හමුවිය.
INS Shalki කොළඹ රැඳී සිටින කාලය තුළ දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වන අතර එහිදී ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින්ට සබ්මැරීනයේ මෙහෙයුම් විශේෂාංග පිළිබඳව ඉගෙන ගැනීමට ද අවස්ථාව ලැබේ. මීට අමතරව, කාර්ය මණ්ඩල සාමාජිකයින් රට පුරා විවිධ සංචාරක ආකර්ෂණ ස්ථාන ගවේෂණය කරනු ඇත.
අගෝස්තු 4 වන දින INS Shalki ශ්‍රී ලංකාවෙන් පිටත්වීමත් සමඟ නිල සංචාරය අවසන් වීමට නියමිතය.
Ocean 1st by oceanlust
Leave a Reply