කච්ච්තිවු අර්බුධය – මෝඩිගේ මෝඩකම?

කච්ච්තිවු අර්බුධය – මෝඩිගේ මෝඩකම?

අයේෂ් ඉන්ද්‍රනාත් රණවක
ප්‍රධාන කතෘ oceanlust magazine

මම මෝඩිට ගරු කරමි. ඔහුට මා ගරු කරන්නේ දේශපාලනයේ ඉතා සීඝ්‍ර ලෙස මුහුකුරා ගිය, පරිණාමය වූ දක්ෂ නායකයෙකු නිසාවෙනි. ඒ මන්ද යත්, අයෝධ්‍යා දේවස්ථානය මූලිකව සිද්ද වූ ඒ මහා ව්‍යසනකාරී තත්වය තවදුරටත් ඉන්දියාව තුල සහ ඔහුගේ දේශපාලන යථාර්ථය තුල පිළිබිඹු වීමට ඉඩ නොදී ඉතා දක්ෂ රාජ්‍යතාන්ත්‍රිකයෙකු ලෙස ඉන්දියාව ඉතා ධනවත් මෙන්ම බලවත් රටක් ලෙස ලොව නගාසිටවීමට ඔහු කල සේවය ඉතා අනර්ඝ ය. එමෙන්ම ඔහුගේ න්‍යායන් වල වෙනස්කම්ද අප ඉතාම සමීපව නිරීක්ෂණය කර ඇත. වරක අම්භානි සමගද, වරක අධානි සමගද නැවතත් අධානි අම්භානි සමගද ඔහුගේ දේශපාලන භූමිකාව ඔහු ඉදිරියට ගෙන ගියේ ව්‍යාපාරික ලෝකය ඉන්දියාව තුල ප්‍රභලව නගා සිටුවමින් එරට ආර්ථිකයට ද මහත් රුකුලක් ගෙන දෙනු ඇතැයි ඔහුගේ තද විශ්වාසයත් සමගය.

ස්වෝත්සහයෙන් නැගී තම ආර්තිකය ස්වයං සංවෘත ආර්තිකයක් ලෙස ඉදිරියට ගෙන ඒමට අතීත ඉන්දියාව ක්‍රියා කලද මන්මෝහන් සිංගෙන් වෙනස් වූ ඉන්දියාව විවෘත ආර්තිකය ,ලිබරල් ආර්තිකයක් පෙරදැරිව කටයුතු කිරීම ඔවුන්ගේ ජයග්‍රහණයේ විශිෂ්ඨ ලක්ෂණයක් විය. එහෙත් ඒ වෙනසට පුරෝගාමී වූ කොංග්‍රස් සාමාජිකයකු වූ මන මෝහන් සිං ගැන මෝඩි වචනයක් හෝ නොකියයි.

ලොව විශාලතම ප්‍රජතන්ත්‍රවාදී රට ලෙස සලකන ඉන්දියාව, තම චන්ද වලදී බාල ප්‍රයෝගකාරී ක්‍රමවේදවලට අනුගතවීම මෝඩි වැනි නායකයෙකුට තරම් නොවන බව අපගේ හැගීමයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව වැනි කුඩා රටක් ආර්ථික අවපාතයකට පත් වී දුර්වල අවස්තාවකට වැටී ඇති මෙම තත්වයේදී අපගේ “ලොකු අයියා” ලෙස සලකන ඉන්දියව මීට වඩා ප්‍රවේසමෙන් සහ වඩාත් වූ ලබැදියාවකින් අප හා කටයුතු කලයුතු බව අප විශ්වාස කරමු.

කච්චතිවු දූපත පිලිබදව අප සොයා බැලිය යුතු නමුත් සෑමදාම අතීත අභිමානය පෙරදැරිකරගෙන, අතීත ශ්‍රී විභූතිය පමණක් කතා කරමින් මෙම තත්වයන් නිරාකරණය කරගත නොහැකිය. ලොව වෙනස් වී අති ආකාරය මෙන්ම නීතිරිති සමුදායන් වෙනස් වී ඇති ආකාරයද අප විසින් වඩාත් වටහාගත යුතු වේ. මෙවන් තත්වයක් යටතේ ඉන්දියවේ අගමැති නරේන්ද්‍ර මෝඩි මහතා මෙම කච්චතිවු දූපත ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබඳ ව කොංග්‍රස් පක්ෂයට දෝෂාරෝපණය කරන්නේ ඡන්ද ගුන්ඩුවකටද?එය එසේ නම් එය මෝඩි ගේ මෝඩ කමක් වේ.

මෙයට සමගාමීව ඉන්දියවේ විදේශ ඇමති ජයශංකර් මහතා දීර්ඝ ප්‍රවෘත්ති සාකච්චාවක් තබමින් මෙහි අතීතය සිහිපත් කරයි. ඔහු පවසන පරිදි මෙය ක්‍රියාවට නැංවූවන් සහ මෙය සගවාගත් පිරිස පිලිබදව විස්තර ජනතාවට පැවසීම ඔහුගේ අරමුණයි. නමුත් අපි කාරුණිකව ඉල්ලා සිටින්නේ , එකල ශ්‍රී ලංකාව නියෝජනය කල විදේශ සහ ආරක්ෂක ලේකම් වන සී.ටී. ජයසිංහ මහතා විසින් ඉංග්‍රීසි බසින් රචිත “කච්චතිවු දූපත සහ ඉන්දු-ලංකා සමුද්‍රීය සීමා රේඛාව” ( Kachchativu Indo Lanka Maritime Border Line IMBL.)යන ග්‍රන්ථය කියවන ලෙසයි . ඉංදියාවේ විදේශ ඇමති ජයසංකර් මහතාට මෙන්ම අප රාජ්‍ය සේවයේ සිටින සියලුම නිලධාරීන්ටද මෙම ග්‍රන්ථය ඉතා වැදගත් වේ. මන්ද යත්, මෙය කියවීමේදී ඉතාමත් පැහැදිලිව වැටහෙන දෙයක් වනුයේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් රාජකාරි කල යුතු ආකාරය කෙසේද යන්නයි. ඉන්දිරා ගාන්ධි මැතිණිය සහ එවකට ශ්‍රී ලංකා අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අතර වූ සංවාද සහ ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකව ලබා දුන් පිලිතුරු හරහා ඉතාම දක්ෂ ලෙස සාකච්චා මෙහෙයවපු බව එමගින් පැහැදිලි වේ.

එකල අපට දක්ෂ නිලධාරීන් සිටි බව මෙම පොත තුලින් මනාව පිළිඹිබු වේ. අද සිටින රාජ්‍ය නිලධාරීන් සියලුම දෙනා සහ තානාපති කාර්‍යාලවල සිටින නිලධාරීන් ද මෙම වටිනා පොත කියවිය යුතුයැයි මම යෝජනා කරන්නේ එහෙයිනි ..
එසමගම එකල ජල ශාස්ත්‍රය පිලිබද නිපුණ දැනුමක් ඇති නිලධාරියෙක් වූ, ෂර්ලී අමරසිංහ මහතා, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා වශ‍යෙන් සේවය කර ඇත. නමුත් අවාසනාවකට 1977 එවකට සිටි රජය මාරු වීමේදී ඔහුට එම ධූරයෙන් ඉවත්වන්නට සිදු විණි. එයට හේතුව වුයේ අනවශ්‍ය ලෙස තම හිතවතෙකු එම ධූරයට පත් කරගැනීමේ අවශ්‍යතාවයත් සමගය. නමුත් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනත්ම තනතුරක් ලබා දී ඔහුව එම සංවිධානය තුල තබාගැනීමට තරම් යුහුසුලු විණි. ඔහුගේ ජල ශාස්ත්‍රීය දැනුම මෙම ඉන්දු-ලංකා සමුද්‍රීය රේඛාව නිර්ණය කිරීමේදී ඉතාමත් වැදගත් ලෙස අපට ඉවහල් වුණි.ඔහු ඉදිරිපත් කල නිර්නායක එක්සත් ජාතීන්ගේ සාගර නීතිය සඳහාද භාවිතා වූ බව පැවසේ.ඒ සමගම නීති සම්පාදනය සහ නීති විශාරධව සිටි පිංටෝ මහතා ද මේ සම්බන්දයෙන් විශාල කර්තව්‍යක් සිදුකර ඇත.

ඉන්දියාව කෙතරම් දක්ෂ වුවත් ඒ දවස්වල මෙම ෂ‍ර්ලි අමරසිංහ මහත්මයාගේ සහ අපගේ දූත කණ්ඩායමේ තර්කානුකූල ඉදිරිපත්කිරීම් බිද දමන්න ඔවුන්ට පුලුවන්කමක් නොතිබූ බව අපගේ හැගීමයි.මෙසේ වෙරළ ආසන්නයේ රටවල් දෙකක් අතර සීමා නිර්ණය කිරීමේ සාමන්‍ය සම්ප්‍රදාය වන්නේ රටවල් ද්ව්ත්වය අතර “සමදුර ක්‍රමවේදය” භාවිතා කරමින් එම කටයුතු කිරීමයි. නමුත් කච්චතිවූ දූපත යන තේමාවට පැමිණීමේදී මෙය එම තත්වයට සමබන්ධ වුනාද යන්න සැක සහිතය. මන්ද ඉතිහාසගත ජලතීරය ලෙස මෙය සම්බන්ධව කටයුතු කල බවක් පෙනේ,ධීවර ක්ෂේත්‍රයේ ගැටලු මේ සඳහා ඉවහල් වී ඇති බව පෙනේ . අතීතයේ පෘතුගීසී කාලයේ සිට මෙම කච්චතිවූ අපේ පරිශ්‍ර‍යක් ලෙස භාව්ත කල තිබුනද බ්‍රිතාන්‍ය බලය පවතින කාලය තුල එය ඉන්දියාවේ තමිල් නාඩුවට අයිති ලෙස නම් කර තිබුනු බවක් ඉතිහාසයේ සදහන් වුවත් ජල ශාස්ත්‍රීය අංශයේ මිනුම් සලකුණු කිරීමේදී කච්ච්තිවු වල මිනුම් සලකුණු ඒ බ්‍රිතන්‍ය නිලධාරීන් විසින් නම් කර ඇත්තේ ශ්‍රී ලංකාවට අයත් ප්‍රදේශයක් ලෙසටය. ඒ කෙසේ නමුත් ඉතිහාසයට අනුව මේ දූපතේ අපගේ අනන්‍යතාව නිශ්ශංකමල්ල රජුගේ කාලය තෙක්ම දිව යන නමුදු මෙම ඉතිහාසයේ එල්ලී සිටීමෙන් අපට පලක් නැත.වඩාත් වැදගත් වන්නේ අද දවසයි.

ඉතිහාසයෙන් පසුව අපට ඉතාම වැදගත් වන්නේ 1968 දී මේ පිළිබදව සාකච්චා ආරම්භ වන නමුත් ඉන්දීය විදේශ ඇමති පවසන පරිදි ඉන්දියාවේ නේරු අගමැති, ‘කිසිම වැඩකට නැති දූපතක් පිළිබදව පාර්ලිමේන්තුවේ කාලය නාස්ති කරන්න එපා, මේ පිළිබදව අපි තව දුරටත් වෙහෙසිලා වැඩක් නෑ’ යනුවෙන් 1961 දී ප්‍රකාශ කර ඇත. ධනාත්මක ලෙසින් බැලූ කල මෙය සත්‍ය වේ. ඉන්දිරා ගාන්ධි ද මෙම ප්‍රකාශයට එකග වී ඇත. ඇය කච්චතිවු සමාන කර ඇත්තේ කිසිම වැඩකට නැති ගලක් යනුවෙනි .මෙම යටගියාවත් සමග ඉන්දිරා ගාන්ධි ශ්‍රී ලංකාවත් සමග සාකච්චා කොට 1974 දී මේ සම්බන්දයෙන් ගිවිසුමක් අත්සන් කර කච්චතිවු ශ්‍රී ලංකාවට ලබා දී ඇත . . මෙය අත්සන් කිරීමේදී, ඉතා විශේෂිත කරුණැක් පිළිබදව සදහන් කරයි. එනම්, ‘ ධීවර කර්මාන්තයේ කටයුතු සදහා මේ ඉතිහාසගත ජල තීරය ඉන්දියාවේ සහා ශ්‍රී ලංකවේ ධීවරයින්ට භාවිතා කිරීමට හැකියාව ඇත’ යන්නයි. නමුත් 1976 දී එය නැවත වෙනස් වේ. ‘ඉන්දියාවේ ධීවරයින්ට ශ්‍රී ලංකාවට පැමිණීමේ හැකියාවක් නැති ආකාරයට මෙහි වෙනසක් සිදු විණි’.

අපට ලැබුණු තොරතුරු වලට අනුව, 1974 දී, ඉතිහාසගතව ශ්‍රී ලාංකික ධීවරයින් මසුන් ඇල්ලූ ස්ථාන දෙකක් පිළිබදව වාර්තා ලැබී ඇත. එක් ස්ථානයක් වන්නේ කච්චතිවූ දූපත හා අනෙක මන්නාරම් ද්‍රෝණිය ,කන්‍යාකුමාරි අසල “වෙජ් බෑන්ක්” Wadge Bank එම ස්ථාන වේ.

වෙජ්බෑන්ක් ඉතා සාරවත් සම්පත් ඇති ප්‍රදේශයකි. විශේෂ වන්නේ එහි මුතු පරයක් ඇති බැව් වාර්ථා වන අතර ඉතා සාරවත් ව මත්ස්‍ය අභිජනනය සිදුවන ප්‍රදේශයක් බැවිනි .. මෙම ගිවිසුමේ සදහන් වන පරිදි වෙජ් බෑන්ක් හි ධීවර කටයුතු ශ්‍රී ලංකාව විසින් නැවැත්විය යුතු අතර කච්චතිවු අසල ධීවර කටයුතු ඉන්දියාව නැවැත්විය යුතුය යන්නයි. නමුත් මේ පිළිබදව ජයශංකර්වත් මෝඩිවත් සදහන් කරන්නේ නැත. 1976 දී මෙය නවතින්නේ ඉහත සදහන් කරුණු අනුවය. ලාංකික් ධීවරයින්ට මෙම වෙජ් බෑන්ක් යන එක තහනම් කළද අද වන විටත් ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට එන ඉන්දීය යාත්‍රා නැවැත්වීමට පියවර ගෙන නැත. 1974 සිට අද වන විට අවුරුදු 50ක් ගෙවී ගොස් තිබුනද එය නවත්වා නැත. මේ පිළිබදව රහස් තබාගෙන සිටි පිරිස සොයනවට වඩා වර්තමානයේ මේ තත්වය නිරාකරණය කර ගැනීමට ඉන්දියාව කටයුතු කළ යුතුය. ඔවුන් මෙහෙට පැමිණෙන්නේ ඇයි? ඔවුන්ට තිබෙන අයිතීන් මොනවාද?එක්සත් ජාතීන්ගේ සාගර නීතිය යටතේ මෙම ගිවිසුම් ගත කරුණු නැවත වෙනස් වී ඇත.

පසුව 2017 දී ශ්‍රී ලංකාවේ නීතියක් ලෙස ට්‍රෝලින් තහනම් කර ඇත. අපේ ධීවරයින් හට මෙය අපි මහත් අවාසිදායක වේ. මෙයට අප සම්පූර්ණයෙන්ම විරුද්ධ වන්නේ මන්ද ලංකාවේ සිටින ඉස්සන් අපට අල්ලාගන්නට නොහැකි නමුත් ඉන්දීය ධීවරයින්ට හැකි බැවිනි. ඉන්දියාවේ තමිල් නාඩුව මෙයට ගැටුම් කරන්නේ මේ ට්‍රෝලීං කරණයත් සමග ලැබෙන මුදල් ප්‍රමාණය නිසාවෙනි. ඉන්දියාව ඉස්සන් අපනයනයෙන් පමණක් ඩොලර් බිලියන 2 වැඩි මුදලක් වාර්ෂිකව උපයන අතර ශ්‍රී ලාංකික සමස්ත මත්ස්‍ය අපනයනය ඩොලර් මිලියන 350-400 පමණ වේ .මේ මුදල් ලංකාවට පැමිණෙන්නට අපේ ධිවරයින් උනන්දු කරනවා ඇර ,ඉන්දියාවේ අයිතීන් යැයි පවසමින් ඔවුන් එය චන්දයට භාවිතා කරනවානම් අපි නිහඬ ව සිටිය යුත්තේ ඇයි ?මෙම ගැටලුවට ඉතා ඉක්මනින් ශ්‍රී ලංකා රජය පිිළිතුරු ලබාදීම අවශ්‍යයි. මන්ද යත්, ඉන්දියාව සේතු සමුද්‍රන් පිළිබඳව , මාධ්‍ය මගින්, හනුමන්තා පිලිබදව ගෙතුණු ඉතිහාස කතා ද පවසමින් , එම ව්‍යාපෘතිය ඔවුන් විසින් නවත්වා ගත් නමුත් සුබ්‍රමනියම් සාමි විසින් අවුරුදු 15
කට පෙර නඩුවක් ගොනු කර ඇති අතර එය නැවතත් වර්තමානයේදී එය සැළකිල්ලට ගැනුණි. එයට විරුද්ධව ද මම ලිපියක් ලියා ඇති අතර එය 2022 මාර්තු 1 දින කොලම්බු ටෙලිග්‍රාප් හි පලවිය. මෙම ගැටලු හමුවේ අපි කතා කල යුතුය. නැතිනම් සිදුවන්නේ තව අවුරුදු 50කින් පමණ මෙම ප්‍රශ්න නැවත පැනනැගීමයි. මෙම සත්‍යයට අපි මුහුන දිය යුතුය. අපට තිබෙන එකම වටිනාම සම්පත වන්නේ ජයසිංහ මහතා රචනා කළ කච්චතිවු ග්‍රන්ථය පමණය. අනෙකුත් ලිපි ඉතා සාධණීය මට්ටම්කින් තිබෙනවාද යන්න ගැටලුවකි. සේතු සමුද්‍රම් වගේ මෙයද නිමෙන ප්‍රශ්නයක් නොවේ.

පසු ගිය ඉන්දීය චන්දෙට පෙර පාස්කු ප්‍රහාර සිදු වූ පසුව මෙවර චන්දයට පෙර පැමිණි තවත් මහත් ගැටලුවක් ලෙස මෙය හදුනාගත හැකිය. මෙය හුදෙක් චන්දය අරභයා සිදුකරන්නක් වේ. (ඉන්දියාවේ ද සිදුවන්නේ එයමය. ) අප මෙන්ම ඉන්දියාවේ මිනිසුන්ද මෙම ගැටලුවට කතා කළ යුතුය. ඉන්දිරා ගන්ධි සහ නේරු පැවසූ පරිදි ‘ඇයි අපි මේ කච්චතිවු වලට මෙතරම් වෙහෙසෙන්නේ?’ මේ පිළිබදව අපි සෙවිය යුතුය. කච්චතිවු ශ්‍රී ලංකාවට නිර්ණය කිරීමේදී අපි අපෙන් යම් කිසි ප්‍රමාණයක් ඉන්දියාට ලබා දුන්නද? (වෙජ් බෑන්ක් ) එසේකළේනම්, ඉන්දියාවට මේ පිළිබදව කතා කිරීමට අයිතියක් නැත. මෙම ට්‍රෝලීං යාත්‍රා මගින් ලැබෙන ධනය නිසා මොවුන් එය නවත්වන්නේ නැත. අද වන විට මුලතිවු, කංකසන්තුරේ ද මෙම ඉන්දියානු ට්‍රෝලීං යාත්‍රා දැකගත හැක.මෙම ගැටලුව අප නිරාකරණය කරගත යුතුය. එසේ නොහැකිවුවහොත්, ඉදිරියට අපගේ නිශ්ශබ්දතාවය මතම අපගේ මෙම අයිතීන් අපගෙන් ගිලිහෙන්නට පුලුවන.කච්චතිවු නැවත ඉන්දියාවට ලබාදුනහොත් ඉන්දීය ට්‍රෝලීං යාත්‍රා ශ්‍රී ලාංකික මුහුදු සීමාව ට පැමිණ සිදු කරන පරිසර හානිය ඉන්දියාවට නැවැත්විය හැකිද ? ඔවුන්ගෙන් ඇසිය යුත්තේ මේ පැනය පමණකි .

අලුතින් පත්වූ ජාතික ජලශාස්ත්‍රීය කාර්‍යාලයේද උපදෙස් ලබා ගෙන මේ පිළිබඳව නිසි පිළිතුරක් අප විදේශ කටයුතු අමාත්‍යංශය ඉන්දියාව වෙත ඉදිරිපත් කල යුතුය .

(සරල භාෂාව සියලුම දෙනාගේ පරිශීලන පහසුව සඳහා )

Picture Credit …wikipedia

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Latest Post

Categories