ෂෙන්ග් හේ” සහ ලංකාවට පැමිණෙන චීන ගවේෂණ යාත්‍රා

“චෙං හෝ” ලෙසින්ද හැඳින්වෙන “ෂෙන්ග් හේ”, 15 වැනි සියවසේ මුල් මිං රාජවංශයේ චීන නාවිකයෙක්, ගවේෂකයෙක්, රාජ්‍ය තාන්ත්‍රිකයෙක් සහ අද්මිරාල්වරයෙක් විය. චීනයේ බලපෑම පුළුල් කිරීම සහ ලෝකයේ අනෙකුත් ප්‍රදේශ සමඟ රාජ්‍ය තාන්ත්‍රික හා වෙළඳ සබඳතා ඇති කර ගැනීම අරමුණු කරගත් “වස්තු  චාරිකා” ලෙස හැඳින්වෙන සමුද්‍ර ගවේෂණ කිහිපයක් මෙහෙයවීම සඳහා ඔහු වඩාත් ප්‍රසිද්ධය.

ඔහුගේ මුහුදු ගමන් වලදී, ෂෙන්ග් හේ ශ්‍රී ලංකාව සමඟ සැලකිය යුතු සම්බන්ධයක් ඇති කර ගත්තේය. ශ්‍රී ලංකාව ඔහුගේ සමුද්‍ර මාර්ගයේ ප්‍රධාන නැවතුම්පොළක් වූ අතර, ඔහු සිය මුහුදු ගමන් වලදී කිහිප වතාවක්ම අප දිවයිනට පැමිණියේය. ෂෙන්ග් හේ ගේ ශ්‍රී ලංකා සංචාර ඉන්දියානු සාගරය හරහා සහ ඉන් ඔබ්බට වෙළඳ සහ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ජාලයක් ස්ථාපිත කිරීමේ ඔහුගේ විශාල උත්සාහයේ කොටසකි.

2009 වසරේ මධ්‍යම සංස්කෘතික අරමුදල සහ චීන රජය සමඟ අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමක් මඟින් අභිප්‍රේරණය වූ චීන ගවේෂණ යාත්‍රා 2014 වසරේ සිට ශ්‍රී ලංකා මුහුදේ ගවේෂණය  කරන්නේ ෂෙන් හේ නාවිකයා සමඟ යාත්‍රා කරන ලද දැවයෙන් නිම කල නෞකා සමුහයෙන් කිහිපයක් ශ්‍රී ලංකා මුහුදේ ගිලී ඇතැයි යන ප්‍රස්තූතය මතය.

ඔවුන්ගේ පැමිණීමේ අරමුණ ගිලී ගිය එම දැවමය නෞකා සොයා ගැනීම වුවද එමඟින් අපගේ දේශීය මුහුදු තිරය ඇතුළු අනන්‍ය ආර්ථික කලාපය මිනුම් කටයුතු කිරීමටද ඔවුන් යොමු විය හැක. ජාතික ආරක්ෂාවට මෙන්ම කලාපීය ආරක්ෂාවටද තර්ජනයක් විය හැකි අධී සංවේදී මිනුම් දත්තයන් අන්‍ය ජාතියක් අතට පත්වීම වැලැක්වීම සඳහා වෙනත් කිසිම ජාතියක් තමන්ගේම මුහුදු ප්‍රදේශ පිළිබඳව එවැනි මිනුම් කටයුතු හෝ ගවේෂණ කටයුතු සිදු කිරීම සඳහා අවසර ලබාදෙන්නේ නැත.

නාරා (ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය) විසින් සිදු කල යුතු සමුද්‍ර ගවේෂණ දශක හතරක් තිස්සේ නිසි ලෙස සිදු නොවීමත් මිනුම් කටයුතු සහ ගවේෂණ කටයුතු මඟින් ලබාගන්නා අප සාගර කලාපයේ දත්ත පිලිබදව නිසි ලෙස අධ්‍යනයක් සිදු නොකොට නැවත නැවතත් එකම සාගර කලාපය තුල විවිධ ජාතීන් සමඟ පර්යේෂණ සහ මිනුම් කටයුතු කිරීම ලබාගන්නා දත්ත නිසිලෙස ගබඩා නොකිරීම වැනි සුවිශේෂී තත්ත්වයන් චීනය ලද මූලික උත්තේජනයකි. නාරා ආයතනයේ ජලශාස්ත්‍රීය කාර්යාලය සතුව මෙවැනි පර්යේෂණ කටයුතු සඳහා Multibeam, Side Scan Sonar වැනි උපකරණ තිබියදී එවැනි පර්‍යේෂණ සහ ගවේෂණ සඳහා වෙනත් විදේශ රටවල් මැදිහත් වීම අනුමත කල නොහැකි කටයුත්තක් වන අතර නාරා ආයතනය විසින් ඔවුන්ගේ පනතට අනුව කටයුතු සිදු කර තිබුනේ නම්, බාහිර ආධාර අනවශ්‍ය බව පවසමින් චීන පර්‍යේෂණ අවශ්‍යතා වලක්වා ගැනීමට හැකියාව තිබුණි.

අපගේ රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියා කලාපය වී ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික ගිවිසුම් පිලිබඳව නිසි අධ්‍යනයක් සිදු නොකොට මතුපිටින් පමණක් කියවා බලා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම ඔවුන්ගේ  විදේශ සංචාරවලට පමණක් සීමා වී ඇත. කිසි දිනක එම සංචාරවලින් ලබා ගන්නා ලද දැනුමක් තම ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා භාවිතා කිරීමට යොමු වී නොමැත. එසේ භාවිතා කලේ නම් අප රාජ්‍ය නිලධාරීන් මේ දක්වා යෙදී ඇති සංචාර අනුව රට සංවර්ධනය වී දශක දෙකක්වත් ඉක්මවනු ඇත.

මෙවර මධ්‍යම සංස්කෘතික අරමුදල සහ චීන රජය අතර ගවේෂණ කටයුතු සඳහා අත්සන් කිරීමට යෝජිත ගිවිසුමෙහි වගන්ති 1 යටතේ ගිලීගිය නෞකාව 060 20’ 5.13’’ N, 0790 53’ 27.58’’ E යන ස්ථානයේ T 6 ලෙස හදුනාගෙන ඇති බව සඳහන් කරයි. නමුත් මෙම ස්ථානය පිළිබඳව නාවික සිතියම් මඟින් පරීක්ෂා කිරීමේදී මීටර 49 ක් යටින් බාධකයක් පවතින බව දක්වා ඇත. මේ පිළිබඳව වැඩිදුරටත් සොයා බැලීමේදී 1931 වර්ෂයේදී නෝර්විජියන් රජයට අයත් “MV Tricolor” නැමැති භාණ්ඩ ප්‍රවාහන නෞකාව පිපිරීමකින් එම ස්ථානයේ ගිලී ගිය බව මේ පිලිබඳව වාර්තා තබන Loyds” ලේඛනයේ සදහන්ව ඇත. (https://wrecksite.eu/wreck.aspx?104200) එම වාර්ථාවට අනුව 1925 දී වානේ වලින් සාදා ඇති මෙම නෞකාව ඩීසල් මඟින් බලය ලබාගන්නා ප්‍රධාන එන්ජින් මීටර 134 ක් දිග, මීටර 8.2 ක් පළල සහ මීටර 17.7 ක් උස භාණ්ඩ ප්‍රවාහන නෞකාවකි. එය කිසිසේත්ම ලීයෙන් නිමකරන ලද මීටර 60 ක් පමණ දිග ඉහත නම සඳහන් චීන ගවේෂකයාට අයත් නෞකාවක් නොවන බව සාමාන්‍ය නාවික දැනුමක් ඇති ඕනෑම පුද්ගලයෙකුට වැටහෙන කරුණකි. ෂෙං හී නාවිකයා මුහුදු ගමන් වානේ යාත්‍රාවලින් සිදු කළ බවට කිසිදු ඓතිහාසික වාර්තාවක සඳහන් නොවන බැවින් මෙම විස්තරය ඓතිහාසික මූලාශ්‍ර සමඟ නොගැලපේ. නාරා ආයතනයේ වගකීම් විරහිත ක්‍රියාකලාපය මේ අනුව හොදින් පැහැදිලිවන අතර මෙම දත්ත නාරා ආයතනයේ ජලශාස්ත්‍රීය කාර්යාලයට ලබාගෙන පරීක්ෂාකොට බැලුවේ නම් නාවික සිතියමෙහි ගිළුණු නෞකාවක් සටහන් කර ඇති ස්ථානයේ අක්ෂාශ සහ දේශාංෂ ලබාදී ඇති බව පලමු ගවේෂණ වාරයේදීම පෙන්වා දීමට හැකියාව තිබුණි.

චීනය වැනි අධි තාක්ෂණික උපකරන භාවිතයෙන් පර්යේෂණ සහ නාවික කටයුතු මෙහෙයවන විද්‍යාඥයින් පිරිස නොදැනුවත්ව මෙම දත්ත ඔවුන් සොයාගත් ෂෙන් හි නෞකා සුන්බුන් ලෙස ඉදිරිපත් කිරීම විය නොහැක. සිදු වී ඇත්තේ මධ්‍යම සංස්කෘතික අරමුදල සහ නාරා ආයතනයේ වගකීම් විරහිත ක්‍රියාකලාපය හේතුවෙන් වෙනත් විදේශ රටක් අප රටට අයත් සාගර කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ආකාරයට සමුද්‍රීය දත්ත සොරා ගැනීමයි.

තවද, අවබෝධතා ගිවිසුමේ නියමයන්ට පර්‍යේෂණ දත්ත අප වෙත ලබා දීම සිදුකල යුතුව ඇතත්  සංස්කෘතික අරමුදල හෝ නාරා ආයතනය සතුව, චීන පර්යේෂණ යාත්‍රා මඟින් 2014, 2016 සහ 2017 දී ලබාගන්නා ලද  ගවේෂණාත්මක දත්ත ඔවුන් සතුව තිබේද ? එසේ නම් සමුද්‍රීය පර්යේෂණ සදහා ශ්‍රී ලංකාවේ පිහිටි එකම ආයතනය වන නාරා ආයතනය මඟින් එම දත්ත උපයෝගීකොට පර්යේෂණ කොපමණ සංඛ්‍යාවක් සිදුකර තිබේද?  ඒ ඔස්සේ ශ්‍රී ලංකාවට ලැබී ඇති ආර්ථිකමය ළුලදායීතාවය කුමක්ද?.

අප රටට නිදහස් අධ්‍යාපනයෙන් බිහිවු විද්‍යාඥයින් අත්‍යවශ්‍ය ය ඒ රටේ ආර්ථික සමාජීය හා සංස්කෘතිකමය දියුණුව සැලසීම සඳහාය. නමුත් වර්තමානය වන විට සිදුවී ඇත්තේ තම දැනුම හැකියාව මඟින් තමාගේ ආත්මාර්ථකාමී අරමුණු සඵල කර ගැනීමට විවිධ අසත්‍ය තොරතුරු ඉදිරිපත්කොට විදේශ රටවල මැදිහත්වීම වගකීම් විරහිතව ලබාගෙන රටේ ජාතික ආරක්ෂාවට සහ භෞමික අඛණ්ඩතාවයට ගැටළුවක් විය හැකි ආකාරයෙන් කටයුතු කිරීම ය. මෙම තත්වය කලාපීය බලවතුන් ඉතා සමීපව නිරීක්ෂණය කරන අතර ඔවුන් ඒ සඳහා අපගේ කැමැත්ත ඇතිව හෝ නැතිව මැදිහත්වීම් සිදුවනු ඇත. එහිදී මෙවැනි වගකීම් විරහිත ආයතනවල හැසිරීම කිසිවෙකුත් ප්‍රශ්න නොකරන අතර අවසන් ප්‍රතිඵලය කෙරෙහි පමණක් ඇගිල්ල දිගුකිරීම ජාතියක් ලෙස අප කරනු ඇත.

අයේෂ් ඉන්ද්‍රනාත් රණවක

ප්‍රධාන කතෘ

oceanlust සගරාව ඇසුරෙන්.

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *