ධීවර ජනතාව සඳහා Ambulance යාත්‍රාවල අවශ්‍යතාවය.

ධීවර ක්ෂේත්‍රය සඳහා Ambulance යාත්‍රාවල අවශ්‍යතාවය මතුවූයේ අද ඊයෙක නොවේ. වසර ගණනාවක් තිස්සේ මේ පිළිබඳව ධීවර රාජ්‍ය අමාත්‍ය කාර්‍යාලය විසින් පසුගිය යහපාලන ආණ්ඩු සමය තුළ විශාල හඬක් නැඟූ නමුත් දේශපාලන කුහකත්වය සහ නිළධාරීවාදය නිසා එම කටයුතු නිසි පරිදි සිදු නොවීය.

මෙහි වර්තමාන තත්වය අති ශෝචනීයයි. මුහුදේ පාවී ආ මත්පැන් බෝතලයක් පානය කිරීම හේතුවෙන් ඇති වූ තත්වයක් ලෙස සලකා මෙම සිද්ධිය ලඝු කොට කතා කිරීම එතරම් සුදුසු නැත. 7000 ආසන්න බහුදින යාත්‍රා ප්‍රමාණයෙන් අවම වශයෙන් යාත්‍රා 3000 පමණ වරකට මෙහෙයුම් කටයුතු වල නිරතවේ නම් එම යාත්‍රා 3000 තුළ ගැනියන් 1500 ක් පමණ සිටිය හැක. එයින් ඕනෑම අයෙකුට හෘදයාබාධ වැනි හදිසි රෝගි තත්වයන් ඇතිවීම සාධාරණ තත්වයක් වන අතර මේ සඳහා අධිවේගී Ambulance යාත්‍රා 3 වත් සෑමවිටම සුදානම්ව තිබීම අත්‍යවශ්‍ය කරුණකි.

නාවික හමුදාව ඕනෑම අවස්ථාවක ධීවර ජනතාවට උදව් උපකාර කිරීමට සූදානම්ව සිටින නමුත් පවතින ඉන්ධන සහ මූලික වියදම් අධික වීමේ තත්වය යටතේ මෙම සෑම අවස්ථාවකම ඔවුන්ගේ සහභාගීත්වය ලබාදීම ප්‍රායෝගික නැත. Ambulance යාත්‍රා ධීවර දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන තුළින් නිෂ්පාදනය කර ඒවා නාවික හමුදාවට හෝ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවට ලබා දී ඉන්ධන වියදම්ද ධීවර දෙපාර්තමේන්තුව මඟින් ප්‍රතිපූර්ණය කිරීමේ ක්‍රමවේදයක් යෝජනා වන්නේ එවකට ධීවර රාජ්‍ය අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙනි.

ශ්‍රී ලංකාවේ සමාගමක් සහ ධීවර දෙපාර්තමේන්තුව එක්ව පැයට මුහුදු සැතපුම් 35 – 40 පමණ ගමන් කළ හැකි යාත්‍රා 3ක් නිෂ්පාදනයට ඩොලර් මිලියන 24 ක පමණ පිරිවැයක් දැරිය යුතු බව එවකට වාර්තා වූ අතර එම පිරිවිතරවලටම අනුකූලව සීනෝර් පදනම මඟින් එම යාත්‍රා 3 ඩොලර් මිලියන 10ක පමණ පිරිවැයකට නිර්මාණය කළ හැකි බව දන්වා ජාතික සැලසුම් දෙපාර්තමේන්තුව වෙත ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව අප හට දැනගන්නට ලැබුණි. එහෙත් අදාල මිල ගණන් වල වෙනස තුළින් විශාල කොමිස් කුට්ටියක් විද්‍යාමාන වන අතර එම වෙනස නිසාම මෙම ව්‍යාපෘති යෝජනාව කුණු කූඩයට තල්ලු වී ඇති බව පෙනේ. නිළධාරීන්ගේ අකාර්‍යක්ෂමතාවය සහ කුහකත්වය මත මෙවන් වටිනා ව්‍යාපෘති කුණු කූඩයට තල්ලු වී ගියද ධීවර ජනයා මහ මුහුද මැද අදටත් මියයති.

මේ පිළිබඳව ක්‍රමානුකූලව පිළියම් යෙදීම අදට වුවත් ප්‍රමාද නැත. ආධාර ලබාගත හැකි විදේශ සංවිධාන බොහොමයකි.මයකි. තිබිය යුත්තේ නිසි දැනුමත්, නොපසුබස්නා උත්සාහයත්, හදවතින්ම ධීවර ජනතාව සමාජ ආර්ථික වශයෙන් උසස් මට්ටමකට ගෙනඒමේ අධිෂ්ඨානයෙන් යුත් දේශපාලන හා නිළධාරි කණ්ඩායමකි. එසේ නොමැතිනම් රක්ෂණ සමාගම් සමඟ එකතු වී හෝ මෙය අනිවාර්යයෙන්ම සිදුවිය යුතු කරුණකි.

හදිසි ගලවාගැනීමක් සඳහා යොමුකළ හැකි තත්වයේ යාත්‍රාවක් අදටත් Sri Lanka Life boat Association හි තිබෙන බව අපට දැනගන්නට ලැබී ඇත. වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව සමඟ එක්ව මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ධීවර දෙපාර්තමේන්තුව මඟින් හෝ ලබාදී අවම වශයෙන් එම මෙහෙයුම ආරම්භ කිරීමට ධීවර අමාත්‍යංශය උනන්දු විය යුතු බව අපේ අදහසයි .

අයේෂ් ඉන්ද්‍රනාත් රණවක

 

ocean 1 st by oceanlust

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *