මුහුදු පතුලේ රහස් AI හෙළි කරයි.

8ඇමරිකා එක්සත් ජනපදයේ සහ එක්සත් රාජධානියේ ප්‍රමුඛ ආයතන අතර පුරෝගාමී සහයෝගීතාවයකින්, විද්‍යාඥයින් ලෝකයේ ඇති සාගර පතුලේ අපෘෂ්ඨවංශීන්ගේ සැඟවුණු ක්‍රියාකාරකම් සිතියම් ගතකිරීම සඳහා කෘතිම බුද්ධිය (AI) භාවිතා කර ඇත. එක්සත් ජනපදයේ Texas A&M විශ්ව විද්‍යාලය විසින් මෙහෙයවනු ලබන, Southampton විශ්ව විද්‍යාලය (UK) සහ Yale විශ්ව විද්‍යාලය (USA) හි දායකත්වය ඇතිව සිදුකෙරෙන මෙම පර්‍යේෂණය, සාගර පරිසර පද්ධතිවල සෞඛ්‍යය පවත්වා ගැනීමේදී මෙම ජීවීන් ඉටු කරන තීරණාත්මක කාර්යභාරය අවබෝධ කර ගැනීමේ සැලකිය යුතු ඉදිරි පිම්මක් ලෙස පෙන්වාදෙයි.

කීර්තිමත් සඟරාවක් වන Current Biology හි ප්‍රකාශයට පත් කරන ලද මෙම අධ්‍යයනය, පෘථිවි පෘෂ්ඨයෙන් විශාල ප්‍රදේශයක් ආවරණය වන පරිදි සාගර අවසාදිතවල සංකීර්ණ ක්‍රියාකාරීත්වය පිළිබඳව අධ්‍යයනයන් සිදුකරයි. ‘ජෛව ටර්බේෂන්’ (bioturbation) ලෙස හැඳින්වෙන ක්‍රියාවලියක් හරහා මුහුදු පත්ල අවුස්සමින් හා කැළඹීමෙන්, පණුවන් සහ ඉස්සන් වැනි කුඩා ජීවීන් ගෝලීය කාබන්, පෝෂක සහ ජීව භූ රසායනික චක්‍රවලට ප්‍රබල ලෙස බලපාන බව ඔවුන් පෙන්වාදෙන මෙම සංසිද්ධිය, ගෙවතු පස පොහොසත් කරන පස් පණුවන්ට සමාන වන බව පවසයි.

විවිධ විෂය ක්ෂේත්‍රවල ප්‍රවීණයන්ගෙන් සමන්විත මෙම පර්යේෂක කණ්ඩායම, ලොව පුරා ස්ථාන සිය ගණනකින් මුහුදු ජීවීන්ගේ ක්‍රියාකාරකම් සහ අවසාදිත පිළිබඳ පුළුල් දත්ත කට්ටල විශ්ලේෂණය කිරීමට AI ශිල්පීය ක්‍රම භාවිත කර තිබේ. මෙම තොරතුරු සම්භාරය උපයෝගී කර ගැනීමෙන්, ලොව පුරා ඕනෑම ස්ථානයක මුහුදු පත්ලේ ජීවීන්ගේ දායකත්වය නිවැරදිව පුරෝකථනය කිරීමට සහ සිතියම්ගත කිරීමට AI හට හැකි විය.

සාගර අවසාදිතයන් අතිශයින් විවිධ වන අතර සාගරයේ සෞඛ්‍යයට මැදිහත් වීමේදී මූලික කාර්යභාරයක් ඉටු කරන බව කලක සිට දැන සිටිය නමුත් මෙම ප්‍රජාවන් දායක වන්නේ කොතැනද සහ කොපමණ ප්‍රමාණයකින්ද යන්න පිළිබඳව නිසි අවබෝධයක් මෙම පර්‍යේෂ්ණය හරහා ලබාගත හැකි වූ බව, Southampton විශ්වවිද්‍යාලයේ සමුද්‍ර විද්‍යාව පිළිබඳ මහාචාර්ය Marine Salon සඳහන් කළේය.

අධ්‍යයනයෙන් ජල ගැඹුර, උෂ්ණත්වය, ලවණතාව, ගොඩබිමෙන් ඇති දුර, සත්ව බහුලත්වය සහ පෝෂ්‍ය පදාර්ථ ඇතුළු ජෛව ටර්බේෂන් වලට බලපාන පාරිසරික සාධකවල සංකීර්ණ අන්තර් ක්‍රියාකාරිත්වයක් අනාවරණය විය. එවැනි අවබෝධයක් සාගර පරිසර පද්ධතිවල සෞඛ්‍යය සහ දේශගුණික විපර්යාස සඳහා ඒවායේ විභව ප්‍රතිචාර පිළිබඳ වැදගත් අවබෝධයක් සපයන බවත් ඔවුන් පෙන්වාදෙයි.

Yale විශ්ව විද්‍යාලයේ පෘථිවි හා ග්‍රහලෝක විද්‍යා අංශයේ සහකාර මහාචාර්ය ආචාර්ය ලිඩියා ටාර්හාන් විසින් විශ්ලේෂණය තුළින්, මුහුදු පතුලේ ජෛව ටර්බේෂන් සහ මෙම සතුන් සපයන පරිසර පද්ධති සේවාවන් සඳහා එකක් පමණක් නොව බහුවිධ පාරිසරික සාධක ඒකාබද්ධව බලපාන ආකාරය සොයා ගත් බව අවධාරණය කළේය.

මෙම පර්යේෂණය හරහා සාගර ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් සංරක්ෂණ උපාය මාර්ගවල අවශ්‍යතාවය අවධාරණය කරයි. ඔවුන් වැඩිදුරටත් පවසා සිටියේ මෙම විශ්ලේෂණයෙන්ගෙන් පෙනී යන්නේ වර්තමාන ගෝලීය සමුද්‍ර ආරක්ෂිත ප්‍රදේශ ජාලය මෙම වැදගත් මුහුදු පතුලේ ක්‍රියාවලීන් ප්‍රමාණවත් ලෙස ආරක්ෂා නොකරන බවත්, පරිසර පද්ධතිවල සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීම සඳහා ආරක්ෂණ පියවරයන් වඩාත් හොඳින් සපුරාලිය යුතු බවත් ය.

ocean 1st by oceanlust

(www.sciencedaily.com) වෙබ් අඩවිය ඇසුරිනි

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *