ප්ලාස්ටික් සුන්බුන් වලින් නිර්මාණය වූ පාෂාණ පිළිබඳව විද්‍යාඥයින් අනතුරු අඟවයි.

බ්‍රසීලයේ වෙරළට ඔබ්බෙන් වූ ට්‍රින්ඩේඩ් දූපතේ සිදුකරන ලද පර්‍යේෂණයකින් ප්ලාස්ටික් සුන්බුන් වලින් නිර්මාණය වූ පාෂාණ හමුව ඇති අතර ඒ පිළිබඳව විද්‍යාඥයින් අනතුරු අඟවයි.

භූ විද්‍යාඥයින් පිරිසක් බ්‍රසීලයේ වෙරළට ඔබ්බෙන් වූ දුරස්ථ ට්‍රින්ඩේඩ් දූපතේ විශ්මය ජනක සොයාගැනීමක් සිදුකර ඇත. එනම් එම දූපතෙන් ප්ලාස්ටික් සුන්බුන් වලින් සෑදුන පාෂාණ සොයාගෙන ඇති අතර මෙම භයානක සංසිද්ධිය, හදිසි පාරිසරික ගැටළු මතු කරමින් පෘථිවි භූ චක්‍ර මත ප්ලාස්ටික් දූෂණයේ වැඩෙන බලපෑම අවධාරනය කරයි.

Espirito Santo සිට කිලෝමීටර් 1,140 ක් දුරින් පිහිටි හරිත කැස්බෑවන් සඳහා තීරණාත්මක රැකවරණයක් වන ට්‍රින්ඩේඩ් දූපතේ දී මෙම සොයා ගැනීම සිදු කරන ලදී. එය අද්විතීය ගිනිකඳු භූ විද්‍යාව සඳහා ප්‍රසිද්ධ දිවයිනක් වන අතර, කැස්බෑ කැදලි, භූමිය ආරක්ෂා කරන බ්‍රසීලියානු නාවික හමුදා කඳවුරක් හැර එහි ජනාවාස නොමැත.

Paraná ෆෙඩරල් විශ්ව විද්‍යාලයේ භූ විද්‍යාඥයෙකු වන Fernanda Avelar Santos මෙම සොයාගැනීම් විස්තර කළේ “නව සහ භයානක සොයාගැනීමක්” ලෙසයි. දිවයිනේ ස්වාභාවික පාෂාණ සැකැස්ම සමඟ ප්ලාස්ටික් එකිනෙක බැඳීමෙන් පෙන්නුම් කරන්නේ පරිසර දූෂණය භූ විද්‍යාත්මක ක්‍රියාවලීන්ට රිංගා ඇති බවයි. මුහුදේ කසළ සහ සාගරවලට වැරදි ලෙස බැහැර කරන ප්ලාස්ටික් භූ විද්‍යාත්මක ද්‍රව්‍ය බවට පත්වෙමින් තිබෙන අතර පෘථිවි භූ විද්‍යාත්මක වාර්තාවල සංරක්ෂණය කර ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

මෙම නව පාෂාණ සැකැස්ම තුළ ප්ලාස්ටික් ප්‍රධාන ප්‍රභවය වන්නේ ඉවතලන මාළු දැල් බව පර්යේෂණයෙන් පෙන්වා දී ඇත. බොහෝ විට සාගර ධාරා මගින් ගෙන යන මෙම දැල් දිවයිනේ වෙරළ තීරයේ එකතු වේ. අධික උෂ්ණත්වයන් යටතේ, ප්ලාස්ටික් දිය වී ස්වභාවික භූ විද්‍යාත්මක ද්‍රව්‍ය සමඟ ඒකාබද්ධ වී නව පාෂාණයක් සාදයි.

මෙම සිදුවීම පාරිසරික වශයෙන් ප්‍රබල බලපෑමක් සිදුකරයි. හරිත කැස්බෑවන් සඳහා සැලකිය යුතු සංරක්ෂණ ප්‍රදේශයක් ලෙස ට්‍රින්ඩේඩ් දූපතේ භූමිකාව පිළිබඳව මෙම සොයාගැනීමත් සමඟ විශේෂ අවධානයක් යොමු විය. සෑම වසරකම කැස්බෑවන් දහස් ගණනක් දිවයිනේ වෙරළ තීරයට බිත්තර දැමීම සඳහා පැමිණෙන අතර, දැන් වැඩි වශයෙන් ප්ලාස්ටික් සුන්බුන් වලින් දූෂිත වී ඇති බව පවසයි.

කෙසේවෙතත් ට්‍රින්ඩේඩ් දූපතේ මෙම ප්ලාස්ටික් මිශ්‍ර පාෂාණ සොයාගැනීම මානව වර්ගයාගේ පාරිසරික උරුමය පිළිබඳ තීරණාත්මක ප්‍රශ්න මතු කරයි. මෙම සංසිද්ධිය මානව වංශයේ පැහැදිලි දර්ශකයක් වන බව යෝජනා කරමින් Santos පුළුල් ඇඟවුම් ඉස්මතු කර ඇති අතර පෘථිවි භූ විද්‍යාව සහ පරිසර පද්ධති කෙරෙහි සැලකිය යුතු මානව බලපෑමකින් සංලක්ෂිත යෝජිත භූ විද්‍යාත්මක යුගයක් බව අවධාරණය කරයි.

මෙම සොයාගැනීම සිදුවන්නේ ප්ලාස්ටික් දූෂණය පිළිබඳ ගෝලීය උත්සුකය මධ්‍යයේ ය. 5 Gyres ආයතනයේ මෑත කාලීන ඇස්තමේන්තු වලට අනුව ප්ලාස්ටික් කැබලි ට්‍රිලියන 170කට අධික ප්‍රමාණයක් ලෝකයේ සාගරවල පාවෙමින් පවති. සෑම දිනකම, ප්ලාස්ටික් කැබලි මිලියන 8 ක් පමණ සාගරයට ඇතුළු වන අතර, වාර්ෂික ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රවාහය 2040 වන විට තුන් ගුණයකින් වැඩි වනු ඇතැයි අපේක්ෂා කෙරේ. OECD විසින් 2022 වාර්තාවකට අනුව පසුගිය වසර 20 තුළ ගෝලීය ප්ලාස්ටික් නිෂ්පාදනය දෙගුණ වී ඇති නමුත් මෙම ප්ලාස්ටික් වලින් සාර්ථක ලෙස ප්‍රතිචක්‍රීකරණය කර ඇත්තේ සියයට 9ක් පමණක් බව සොයාගෙන තිබේ. උත්සන්න වන මෙම අර්බුදයෙන් ඇඟවෙන්නේ සියවසේ මැද භාගය වන විට සාගරයේ මාළුවලට වඩා ප්ලාස්ටික් තිබිය හැකි බවයි.

ට්‍රින්ඩේඩ් දූපතේ මෙම ප්ලාස්ටික් පාෂාණ සෑදීම ප්ලාස්ටික් දූෂණයට විසඳුම් සෙවීමේ හදිසි අවශ්‍යතාව පිළිබඳ දැඩි සිහිගැන්වීමක් ලෙස ක්‍රියා කරයි. ප්ලාස්ටික් අපද්‍රව්‍ය ස්වභාවික ක්‍රියාවලීන් සහ පරිසර පද්ධති වෙතට රිංගීම අඛණ්ඩව සිදුවන බැවින්, වඩාත් තිරසාර භාවිතයන් සහ ඵලදායී අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වන ඉල්ලීම වඩාත් තීරණාත්මක වන අතර මෙම සොයා ගැනීම ප්ලාස්ටික් දූෂණය අවම කිරීමට සහ අපේ පෘථිවියේ අනාගතය ආරක්ෂා කිරීමට ගෝලීය ක්‍රියාමාර්ගවල හදිසි අවශ්‍යතාවය අවධාරණය කරයි.
ocean 1 st by oceanlust

(www.independent.co.uk) වෙබ් අඩවිය ඇසුරිනි

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *