අප වැනි රටක අභිමානය වූ සාගර සම්පත්, දේශපාලනික මඩ ගොහොරුවකට ඇදදාන්න එපා..

ශ්‍රී ලාංකික මහාද්වීපික තටාකයට අයත්වේයැයි අනුමාන කරමින් අදවන විට Afanasy Nikitin Seamount පිළිබඳ විශාල කතිකාවතක් රූප මාධ්‍ය මෙන්ම මුද්‍රිත මාධ්‍ය හරහාද ගොඩනැගෙමින් පවතී. අතීතයේ පටන් මේ මහාද්වීපික තටාකය පිළිබඳ , අන්තර්ජාතිකව සිදුකෙරෙන ක්‍රියාවලිය නිර්ණය කිරීම පිළිබඳව සුළු හෝ දැනුමක් ශ්‍රී ලාංකික පුරවැසියා සතුවිය යුතු බව අප විශ්වාස කරමු. මාගේ මතකයේ හැටියට මෙහි ඉතිහාසය පිළිබඳව මා කියවූ ලිපි 2ක් සිහියට නැගේ. ඉන් එකක් The Island පුවත්පතට විජිත හේරත් මන්ත්‍රීවරයා විසින් ලියූ ලිපියක් වන අතර අනෙක් ලිපිය 2018 ජූලි 04 වන දින ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියෙන් පළකරන ලද ඉතා දීර්ඝ ලිපියකි. එම ලිපි 2 සොයාගෙන කියවන අයෙකුට මෙම මහාද්වීපික තටාකයෙහි අයිතිය සඳහා ශ්‍රී ලංකාව විසින් 2009 ට පෙර සිදුකරන ලද වගකීම් විරහිත ක්‍රියාදාමයන් අවබෝධ කරගැනීම පහසුවනු ඇත.

1945 වර්ෂයේ ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති වූ හැරී ටෘමන් මහතා විසින් පවසා ඇති පරිදි රටක භූමි ස්කන්ධය වෙරළ තීරයකින් අවසන් නොවිය යුතුය. ඒ මක් නිසාද යත් රටක භූමි ස්කන්ධයේ පවතින රොන් මඩ ඇතුළු අවසාදිත ද්‍රව්‍ය සෝදා ගෙනවිත් එම රටේ මහද්වීපික තටාකය තුල තැන්පත් වන බැවිනි. මෙය ඇතැම් අවස්ථා වල නාවික සැතපුම් 500ක් පමණ දුරට සෝදා ගෙන යන අතර එම අවසාදිත ද්‍රව්‍යන්ගේ අයිතිය එම රටට අත්‍යාවශයෙන් හිමි විය යුතු බැවින් ඔහු විසින්ම තීරණය කර ප්‍රකාශ කල ඇති පරිදි අවම වශයෙන් නාවික සැතපුම් 200 අනන්‍ය ආර්ථික කළාපයේ පවතින මහද්වීපික තටාකය අදාළ රටට හිමි විය යුතු අතර එවකට ලෝකයේ සියළු රටවල් ඊට එකඟ වූ නමුත් මේ පිළිබඳව අප විසින් ක්‍රියාකිරීම ප්‍රමාද වීම කණගාටුවට කරුණකි. ලෝකයේ අනෙකුත් රටවල් එම සීමාව ඔවුන්ගේ ආර්ථික කළාපය ලෙස සලකා ඔවුන්ගේ ඉදිරි වැඩකටයුතු සැලසුම්කරමින් ක්‍රියා කලහ.

මේ සම්බන්ධව ක්‍රියා කිරීම අප විසින් 1970 දී ආරම්භ කල අතර එම කාල සීමාව වන විට එක්සත් ජාතීන් විසින් කොමිසමක් පත් කරන ලදි. මෙම කොමිසම සඳහා ශ්‍රී ලංකා නියෝජිත ලෙස ඉතාමත් උසස් හා ප්‍රබල විදේශ සේවයේ අති දක්ෂ කීර්තිමත් නිළධාරියකු ව සිටි ෂර්ලි අමරසිංහ මහතා පත් වනුයේ ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය‍ගේ නිර්දේශයක් මතය. ශ්‍රී ලංකා තානාපති ලෙස පත් වී යන ඒ මහතා පසුකලක දී එම කොමිසමේ සභාපති ලෙස පත් වන අතර ඔහු විසින් මෙම ගැටළුව ඉතා ගැඹුරින් අධ්‍යනය කරන ලදී .අපගේ ප්‍රධානතම ගැටළුව නම් ඉන්දියානු ගංගාවල අවසාදිත ද්‍රව්‍යය ද සෝදා ගෙන විත් අපගේ මහද්විපක තටාකයට ඇතුලු වී ඉතා විශාල ආවාටයක් (Ridge) නිර්මාණය වීමයි . අපගේ අනන්‍ය ආර්ථික කළාපයේ පවතින ඉතා වටිනා පාෂාණ සෝදා ගෙන ගොස් අපගේ ආර්ථික කළාප සීමාවේ තැන්පත් කරනු ලබයි. කෙසේ වෙතත් මෙම ක්‍රියාව කෙටි කාලීනව සිදු නොවන්නක් වන අතර මෙය ඉතා දිගු කාලීන ක්‍රියාන්විතයක ප්‍රථිඵලයක් වේ.

මේ සඳහා විදේශ කටයුතු අමාත්‍යංශය යටතේ පිහිටවා ඇති NOAC (National Oceanic Affairs Committee) හි නීති උපදෙස් සඳහා මෙම විනාශකාරී ප්‍රමාදයන්ට මූලිකවම වගකිවයුතු පුද්ගලයකු ඇතුළත් වූයේ කෙලෙසදැයි අප නොදනිමු. නමුත් ඔහුගෙන් සිදු වූ විනාශය නිසිලෙස ගණනය කළහොත් මෙම කොබෝල්ට් කන්දේ වටිනාකමට වඩා වැඩිවන බව නොඅනුමානය.

අදාළ කොමිසම තුළින් අප විසින් ඉල්ලා ඇති වපසරිය අනුමත කිරීම තුළින් පමණක් අපට Afanasy Nikitin Seamount හි අපේ අයිතිය පිළිබඳව තීරණය කල හැක. මහාද්වීපික තටාක භූ විද්‍යාත්මක ලක්ෂණ මත පදනම්ව, සුවිශේෂි ආර්ථික කලාප වලින් ඔබ්බට මූලික රේඛාවේ සිට නාවික සැතපුම් 350 දක්වා විහිදේ. UNCLOS යටතේ, රටවලට ඔවුන්ගේ මහද්වීපික තටාකය සම්මත නාවික සැතපුම් 200 ඉක්මවා දිගු කිරීමට හිමිකම් ඉදිරිපත් කළ හැකි අතර, එය මහද්වීපික තටාකයේ සීමාවන් පිළිබඳ කොමිසම (CLCS) විසින් සමාලෝචනය කළ යුතුය. එම ගණනය කිරීමේදී අනුමැතිය මෙරටට ලැබුණහොත් Afanasy Nikitin Seamount හි අයිතිය ඔප්පු කළ හැකිය. එමෙන්ම අපගේ මුහුදු සීමාවන්ගෙන් පිටතට ගියහොත් මෙහි අයිතිය අප හට අහිමිවන්නා සේම ජාත්‍යන්තර මුහුදු පත්ල අධිකාරිය (ISA) මඟින් ඉන්දියාවට මෙම ක්‍රියාවලිය සඳහා අනුමැතිය ලබාදෙන්නටද අවස්ථාවන් ඇත.

කෙසේවෙතත් භූ දේශපාලන කර්තව්‍යන් ඈදාගනිමින් මෙම ගැටළු සංකීර්ණ කිරීමට උත්සාහ නොකල යුතු අතර ඒ වෙනුවට අපට අයිති නිධි සොයාගනිමින් නිසි ගවේෂණයන් සිදුකළ යුතුය. ඒ සඳහා ජාතික ජල ශාස්ත්‍රීය කාර්‍යාලය ට විශාල කාර්‍ය භාරයක් ඇති අතර එම පනතට අනූව මෙරට සීමාවෙන් එහා සම්පත් පිළිබඳව ගවේෂණය කළ නොහැකි වුවද අපට අයත් සමුද්‍රීය සම්පත් ගවේෂණය කිරීමේ හැකියාව තිබේ. ඒ හරහා සාගර සම්පත් අපගෙන් ගිලිහීම වැළැක්විය හැකි අතර එම සම්පත් ආරක්ෂා කරගනිමින් තිරසාර අනාගතයක් කරා ගමන් කළ හැක.

කෙසේනමුත් ශ්‍රී ලාංකික අනන්‍ය ආර්ථික කලාපය තුළ ඇතැයි කියන ඛණිජ සම්පත් ගවේෂණය කිරීමට සුදුසුම අවස්ථාව මෙය වන අතර විශේෂයෙන්ම තෝරියම්, ටයිටේනියම් වැනි මිල අධික ඛණිජ කෙරෙහි අවධානය යොමුකිරීමේ කාලය එළඹ ඇත. ඒ සඳහා අවධානය යෙදවීම අපේ මාධ්‍ය කාර්‍යභාරය බව අප විශ්වාස කරන අතර මහාද්වීපික තටාකයේ සීමාවන් ලකුණු කිරීමේදී Afanasy Nikitin Seamount කොබෝල්ට් කන්ද පිළිබඳව තීරණයක් ගැනීමට හැකියාව ලැබේ.එතෙක් ඉවසන්න .

Ocean 1st news alert

Latest Comments

No comments to show.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *